
මිනිස් සිරුර තුළ ඇති අවයව ගැන වසර සිය ගණනක් තිස්සේ විද්‍යාඥයන් පර්යේෂණ සිදුකර ඇත. හෘදය, පෙනහලු, වකුගඩු, අක්මාව, මොළය ඇතුළු ප්‍රධාන අවයව පිළිබඳව සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිඳව, අපට මේ වනවිට හොඳ දැනුමක් ඇත. ඒත්, මිනිස් සිරුර පිළිබඳ සියලු රහස් අප හෙළි කරගෙන අවසන් යැයි සිතුවොත් එය වැරදිය. මිනිස් සිරුර තවමත් අබිරහසකි.
පසුගිය දා, මීයන් යොදා ගනිමින් කළ පර්යේෂණයකින් අනාවරණය වූයේ, අප මනුෂ්‍ය සිරුරේ මෙතෙක් හඳුනා නොගත් නව ව්‍යුහයක් (අවයවයක්) ඇති බවය. මේ ව්‍යුහය (අවයවය) කුමක්දැයි සහ එහි කාර්යය කුමක්දැයි අවබෝධ කර ගැනීමට විද්‍යාඥයෝ මේ වනවිට සමත් වී සිටිති. මේ අපූරු අවයවය ඇත්තේ අප හිස් කබල තුළය.
හිස් කබල තුළ ඇටමිදුළුවලට ආශ්‍රිතව මෙම ව්‍යුහය පිහිටන බව, ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ
ඇමෙරිකාවේ, වොෂිංටන් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ විද්‍යාඥයෝ පවසති. මෙය සුවිශේෂ කාර්යයක් ඉටු කරන ප්‍රතිශක්තිකරණ ව්‍යුහයක් යැයි විද්‍යාඥයන් විසින් හදුනා ගනු ලැබ ඇත. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල, ප්‍රකට ‘නේචර්’ විද්‍යා සඟරාවේ සවිස්තරව පළ වී ඇත. විද්‍යාඥයන්ට මුලින්ම මෙම ව්‍යුහය ගැන හෝඩුවාවක් ඇති වූයේ මිනිස් හිස් කබල කපා පරීක්ෂා කරද්දී නම් නොවෙයි.
මුලින් ඔවුන් මීයන්ගේ හිස් කබල සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න විය. ඔවුන් අලුත් ව්‍යුහයක් දකින්න ලැබේවි යැයි අපේක්ෂා කර නැත. එසේ වුවත්, මීයන්ගේ හිස් කබලේ ඇති මෙම ව්‍යුහය මනුෂ්‍ය අපේ ද හිස් කබලේ ඇති බව විද්‍යාඥයන්ට අවබෝධ විය.
මෙම නව ව්‍යුහයේ වැදගත්කම, එය මොළයට ඉතා ආසන්නව පිහිටා තිබීමය. මීයන්ගේත් මනුෂ්‍ය අපේත් එය එසේමය. විද්‍යාඥයන්ගේ අදහස එය මොළය ආශ්රිත ආසාදන සහ පිළිකා වැනි තත්ත්වවලදී ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකරණ ආරක්ෂක මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන බවය.
සරලව පැහැදිලි කළොත්, මොළයට සිදුවන අනතුරු හඳුනාගෙන, ඒවාට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ආරක්ෂක සෛල සූදානම් කර තැබෙන ස්ථානය මෙම ව්‍යුහයයි.
අප ශරීරය නිරන්තරයෙන් බැක්ටීරියා සහ වයිරසවලට පමණක් නොවෙයි වෙනත් හානිකර විෂබීජවලට නිරන්තරයෙන් මුහුණ දෙයි.
ඒවාට එරෙහිව සටන් කිරීම සඳහා සිරුරේ සංකීර්ණ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇත. සුදු රුධිරාණු ඇතුළු විවිධ ප්‍රතිශක්තිකරණ සෛල එහි ප්‍රධාන ආරක්ෂකයෝ ලෙස ක්‍රියා කරති. මෙම සෛල, රෝග ඇති කරන විෂබීජ හඳුනාගෙන ඒවා විනාශ කරයි. ඒත්, විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට, මොළය සම්බන්ධයෙන් මෙම ක්‍රියාවලිය තරමක් සංකීර්ණය.
මොළය සහ සුෂුම්නාව ඇතුළත් මධ්‍යම ස්නායු පද්ධතිය ශරීරයේ අනෙකුත් කොටස්වලින් යම් ආකාරයකින් වෙන්ව ආරක්ෂා වී පවතී. මොළය ඉතා සංවේදී බැවින්, ශරීරයේ වෙනත් ස්ථානවල රෝගවලට එරෙහිව ක්‍රියාකරන ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලීන් සියල්ලම මොළය තුළ ඒ අයුරින්ම සිදුවන්නේ නැත. ඇතැම් අවස්ථාවල, ප්‍රතිශක්තිකරණ සෛල මොළයට ඇතුළු වී සිදුකරන ප්‍රබල ප්‍රතිචාර නිසා මොළයේ සියුම් පටකවලට හානි සිදුවිය හැකිය.
පසුගිය කාලයේ සිදු කළ පර්යේෂණවලින් මොළය සහ ශරීරයේ අනෙක් ප්‍රතිශක්තිකරණ පද්ධති අතර සම්බන්ධතාවක් පවතින බවට සාධක වැඩි වශයෙන් විද්‍යාඥයන් අනාවරණය කරගෙන තිබුණි. මෙම නව පර්යේෂණයට සම්බන්ධ විද්‍යාඥයන් ද මීට පෙර සිදු කළ පර්යේෂණවලදී මොළයේ පටකවල සිට හිස් කබල දක්වා දිවෙන ඉතා කුඩා නාලිකා හඳුනාගෙන තිබුණි. මෙම නාලිකා මොළය වටා ඇති ආරක්ෂක පටලයක් වන ‘ඩියුරා මැටර්’ හරහා ගමන් කර හිස් කබලේ ඇටමිදුළු දක්වා පැමිණෙන බව එදා ඔවුහු සොයා ගත්හ.
‘ඩියුරා මැටර්’ හෙවත් දෘඪ මස්තිෂ්ක පටලය මොළය සහ සුෂුම්නාව ආරක්ෂා කරමින් ඒවා වටා පිහිටි ඝන, ශක්තිමත් ආරක්ෂක පටල තුනෙන් පිටතම පටලයයි.
මෙම නව පර්යේෂණයේදී, කුඩා නාලිකා පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට විද්‍යාඥයෝ විශේෂ ආලෝකමත් සලකුණු සහිත ප්‍රෝටීන භාවිත කළහ. එමඟින් මොළයේ සිට නාලිකා ඔස්සේ ද්‍රව්‍ය ගමන් කරන ආකාරය නිරීක්ෂණය කිරීමට ඔවුන්ට හැකි විය.
එහිදී ඇතැම් ද්‍රව්‍ය මොළයේ ස්නායු සෛලවලින් ආරම්භ වී හිස් කබලේ ඇටමිදුළු දක්වා ගමන් කරන බව ඔවුහු නිරීක්ෂණය කළහ.එම ස්ථාන තවදුරටත් පරීක්ෂා කිරීමේදී විද්‍යාඥයන්ට අලුත් වන්යුහය හමුවිය. එම ව්‍යුහය, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැදගත් ස්ථාන වන වසා ගැටිතිවල දක්නට ලැබෙන ‘ජර්මිනල් සෙන්ටර්’ නමැති ව්‍යුහවලට සමාන බව පෙනී ගියේය. ‘ජර්මිනල් සෙන්ටර්’ යනු ප්‍රතිශක්තිකරණ සෛල වර්ධනය වී, විශේෂිත රෝගකාරක හඳුනාගෙන ඒවාට එරෙහිව සටන් කිරීමට පුහුණු වී සීරුවෙන් සිටින ස්ථානයයි.
විද්‍යාඥයන් සොයා ගත්තේ කුමක්දැයි යන්න සරල උදාහරණයකින් පැහැදිලි කළහොත්, රටක ආරක්ෂක හමුදා පුහුණු කරන විශේෂ කඳවුරක් ඇතැයි සිතන්න. එහිදී නව සෙබළුන් පුහුණු කර, ඔවුන්ට සතුරා හඳුනාගන්නා ආකාරය සහ සටන් කරන ආකාරය උගන්වා පසුව අවශ්‍ය ස්ථාන වෙත යවනු ලැබේ. ජර්මිනල් සෙන්ටර් ද ඒ හා සමාන ආකාරයකින් ප්‍රතිශක්තිකරණ සෛල සූදානම් කරන ස්ථාන ලෙස ක්‍රියා කරයි.
නව පර්යේෂණයෙන් හඳුනාගෙන ඇති හිස් කබල ආශ්රිත ව්‍යුහය ද මොළය ආරක්ෂා කිරීම සඳහා එවැනි කාර්යයක් ඉටු කරන බව පෙනී යයි.
මෙහි තවත් වැදගත් කරුණක් වන්නේ මෙම ප්‍රතිශක්තිකරණ ව්‍යුහය මොළයට ඉතා ආසන්නව පිහිටා තිබීමය. එබැවින් මොළයට යම් අනතුරක් ඇති වූ විට ශරීරයේ දුරස්ථ ප්‍රදේශයකින් ආරක්ෂක සෛල කැඳවීම වෙනුවට, ඒ ආසන්නයේම සිටින ප්‍රතිශක්තිකරණ සෛල ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි විය හැකිය.
එය මොළයටම වෙන් වූ පළමු පෙළ ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරනවා විය හැකිය.
විද්‍යාඥයෝ, ඔවුන්ගේ මෙම අදහස පරීක්ෂා කිරීම සඳහා, පර්රයේෂණාගාර තුළ මීයන්ගේ මොළයේ ග්ලියෝමා නමැති පිළිකා වර්ගය ඇති කළහ. ග්ලියෝමා යනු මොළයේ ඇතිවන බරපතළ පිළිකා තත්ත්වයකි. පසුව ඔවුහු හිස් කබල ආශ්රිත ප්‍රතිශක්තිකරණ ව්‍යුහයේ ක්‍රියාකාරීත්වය අඩපණ කළහ.
එහිදී ව්‍යුහයේ ක්‍රියාකාරීත්වය අඩපණ වුණු සැණින්, මීයන්ගේ පිළිකා වඩාත් වේගයෙන් වර්ධනය වූ අතර ඔවුන්ගේ ජීවත්වීමේ කාලය ද අඩු විය.
දෙවැනුව, මෙම ප්‍රතිශක්තිකරණ ව්‍යුහයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට හැකි විශේෂ ප්‍රෝටීන තුනක මිශ්‍රණයක් ලබා දුන් පසු මීයන් තුළ වඩා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් දක්නට ලැබුණු බව පැවැසෙයි.
මීයන්ගේ සිරුරුවලට පිළිකාවට එරෙහිව වඩාත් හොඳින් සටන් කිරීමට හැකි වූ අතර, උන්ගේ ජීවත්වීමේ කාල සීමාව ද සැලකිය යුතු ලෙස වර්ධනය විය.
මෙම නව සොයා ගැනීම අනාගතයේදී මොළයේ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදවල විශාල වෙනසක් සිදුවනු නොඅනුමානය. දැනට මොළයේ පිළිකාවලට ප්‍රතිකාර කිරීමේදී ඇතැම් අවස්ථාවල සංකීර්ණ ශල්‍යකර්ම අවශ්‍ය වේ.
හිස් කබල ආශ්රිත මෙම ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථාන ඖෂධ මඟින් සෘජුවම සක්‍රීය කළ හැකි බව අනාගත පර්යේෂණවලින් තහවුරු වුවහොත්, හිස් කබලට ඉහළින් සමට යටින් ලබාදෙන විශේෂ ඖෂධ ජෙල් වැනි ප්‍රතිකාරයක් මඟින් එම ආරක්ෂක පද්ධතිය තව තවත් සක්‍රීය කිරීමට හැකි වනු ඇත.
මෙම ව්‍යුහය සොයා ගැනීම, මොළයේ පිළිකාවලට පමණක් සීමා නොවනු ඇත. මොළය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අතර සම්බන්ධතාව පිළිබඳ නව අවබෝධයක්ලබා ගෙන එමගින් ඇල්සයිමර් රෝගය, පාකින්සන් රෝගය සහ තවත් ස්නායු පද්ධතිය ආශ්රිත රෝගවලට ප්‍රතිකාර සෙවීමට ද වෛද්‍ය පර්යේෂකයන්ට නව මාර්ග විවර වනු ඇත.
ලුසිත ජයමාන්න
Science Alert ඇසුරිනි